ජවිපෙ මැර බලයෙන් අල්ලා ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලය ආපසු දීමට අධිකරනය නියෝග කරයි

ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරනය විසින් මාර්තු 30 දින දුන් තීන්දුව අනුව, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) පොලිසියේ අනුග්‍රහය ද ඇති ව මැර කන්ඩායමක් යොදා ගනිමින් අල්ලාගත් යක්කල සල්මල් උයනේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) කාර්යාල ගොඩනැගිල්ල යලි පෙසප වෙත බාර දීමට සිදු ව ඇත. 

සැප්තැම්බර් 2දා ජවිපෙ/ජාජබ මැරයින් පිරිසක් පෙසප කාර්යාලය අත්කරගැනීමෙන් අනතුරුව විරෝධය දක්වන පෙසප සාමාජිකයන් (පින්තූරය- කලම්බු පෝස්ට් ෆේස්බුක් පිටුවෙන්)

මෙම අධිකරන තීන්දුවෙන්, ජවිපෙ විසින් පෙසප කාර්යාලය නීති විරෝධී ලෙස උදුරා ගත් බව තහවුරු විය. “නීති ගරුක පාලනයක්” ගැන පච ප්‍රචාරවල යෙදෙමින් බලය ගත් ජනතා විමුක්ති පෙරමුන/ ජාතික ජන බලවේගය සිය දේශපාලන විරුද්ධවාදීන්ට හා කම්කරුවන්ට එරහි ව ඕනෑ ම රුදුරු ප්‍රහාරයක් එල්ල කිරීමට සුදානම් බව හෙලි කරන සිද්ධියක් ලෙස මෙය සැලකිය යුතු බව සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ට තරුනයන්ට පෙන්වා දෙයි. 

මෙම පෙසප කාර්යාලයට ගිය අවුරුද්දේ සැප්තැම්බර් 2දා උදෑසන, කඩු, පොලු රැගෙන කඩා වැදුන ජනතා විමුක්ති පෙරමුනේ 50කට අධික මැර නඩයක්, එහි සිටි පුද්ගලයින්ට පහර දී, බලහත්කාරයෙන් එම පක්ෂ කාර්යාලය අල්ලා ගත්හ.  මැර ප්‍රහාරයෙන් තම මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට සුලු තුවාල ලැබූ බවත්, තැලුම් හා සීරුම් තුවාල සහිත ව කාන්තා සාමාජිකාවක ද ඇතුලු 6 දෙනෙකු ගම්පහ රෝහලට ඇතුලත් කිරීමට සිදු වූ බවත් පෙසප ප්‍රකාශ කලේ ය.

මෙම නීති විරෝධී ක්‍රියාව සාධාරනීකරනය කිරීමට, ජවිපෙ/ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ විසින් මාධ්‍යයට ප්‍රකාශ කරනු ලැබුවේ මෑත දී දුන් නඩු තීන්දුවකින් මෙම දේපල ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට ලැබී ඇති බවයි. එම ව්‍යාජය මෙම නඩු තීන්දුවෙන් නිෂ්ප්‍රභා වී තිබේ. නීත්‍යානුකූල ව ජවිපෙට අයත් දේපලක් වී නම් එය අත් කර ගැනීමට පොලිසියේ සහාය ඇති ව මැර බලය යොදා ගත්තේ ඇයිදැයි කිසිවිටෙක පැහැදිලි නොකල විජේසිංහ, මාර්තු 30 නඩු තීන්දුවෙන් පසු මාධ්‍යය ට සඳහන් කර ඇත්තේ, ඊට එරෙහි ව ඔහු අභියාචනා කරන බවයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පියවර ක්‍රියාත්මක කරමින් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආන්ඩුව ඒවාට  එරෙහි අරගල මැඩීමට රුදුරු නීති පනවා, පොලිස් ප්‍රහාර එල්ල කරමින් දැනටමත් ක්‍රියාත්ම වන ආකාරය කම්කරුවන්, ගොවීන් සහ සිසුන් අත්දැක ඇත. පසුගිය වසරේ තැපැල් කම්කරුවන්ගේ දිග්ගැස්සී ගිය වර්ජනය බිඳීමටත් සෞඛ්‍ය කම්කරු අරගල බිඳීමටත් මිලිටරිය යොදා ගැනුනි.

2024 දෙසැම්බර් මාසයේ දී පාසල් සංවර්ධන නිලධාරීන්ගේ විරෝධතාවයක් පොලිසිය විසින් බලයෙන් විසුරුවා හරින ලද අතර, විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී රුදුරු නීති මත නඩු පවරනු ලැබුනි. 2025 දී ශිෂ්‍ය ක්‍රියාකාරීන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන, ඔවුන්ට විරෝධතා පැවැත්වීම තහනම් කරන අධිකරන නියෝග නිකුත් කෙරුනි. 

ගිය අවුරුද්දේ පෙබරවාරි 12 දින, අඟුනුකොලපැලැස්ස  උස්වැව ගමේ ජාතික ගොවි සමුලුව (ජාගොස) නම් වූ සංවිධානය විසින් පැවැත්වීමට සුදානම් කල සම්මන්ත්‍රනයක් ප්‍රදේශයේ ජවිපෙ මැරයන් පිරිසක් විසින් කඩාකප්පල් කර දමන ලදී. ඔවුන් එම රැස්වීමට පහර දුන්නේ එය යුඇන්පී ගොට්ටන් විසින් සංවිධානය කර ඇතැයි මඩ ගැසීමක යෙදෙමිනි. 

2025 ජනවාරි 3 දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) විසින් “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි ව සටන් කරන්නේ කෙසේ ද?” මාතෘකාව යටතේ විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිත ව තිබූ රැස්වීම අන්තිම මොහොතේ වැඩබලන උපකුලපති විසින් තහනම් කරන ලදී. ඔහුගේ චෝදනාව වූයේ රැස්වීමේ මාතෘකාවෙන් ආන්ඩුවට “අභියෝග” කෙරෙන බවයි. මෙම තහනම ආන්ඩුව විසින් පාර්ලිමේන්තුව තුලදී ද සාධාරනීකරනය කරනු ලැබිනි.

මෙම සිද්ධීන් සුලු සංඥාවන් පමනි. ආන්ඩුවට විරුද්ධ ව හෝ එහි ප්‍රතිපත්ති විවේචන කරන ඕනෑ ම දේශපාලන ක්‍රියාකාරකමක් මර්දනය කිරීමටත් කම්කරුවන්ගේ අරගල තලා දැමීමමටත් රාජ්‍ය යන්ත්‍රය හා ඊට අමතරව මැර ප්‍රහාරක කන්ඩායම් උසිගැන්වීමට ජවිපෙ සුදානම් බවයි. 

මෙම මර්දන ක්‍රියාමාර්ගවල පසුබිමෙහි පවතින්නේ, ජවිපෙ/ජාජබ ආන්ඩුව ජාත්‍යන්තර මුදල් අරමුදලේ නියෝග අනුව දැඩි කප්පාදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැපවීමයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු පියවර ක්‍රියාවට දමමින්, ජාත්‍යන්තර ආයෝජකයන්ගේ හා ලංකාවේ මහා ව්‍යාපාරිකයන්ගේ ලාභ රැකදීමට කැප වී ඇති ආන්ඩුවක්  ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ට ඉඩදීමට සුදානම් නැත. 

ලංකාවේ ධනපති පන්තියේ සැලකිය යුතු කොටසක් ජවිපෙ මුලිකත්වය ගත් ආන්ඩුවක් බලයට ගෙන ඒමට 2024 සහයෝගය දුන්නේ නිකමට නොවේ. විශේෂයෙන්  1988-1990 කාලය තුල, ඉන්දියානු-විරෝධී සිංහල ස්වෝත්තමවාදී ව්‍යාපාරයක යෙදෙමින් දේශපාලන විරුද්ධවාදීන්, කම්කරුවන් වෘත්තිය සමිති නායකයන් ඇතුලු දහස් ගනනක් මරා දැමීමට ජවිපෙ වෙඩික්කරුවෝ ක්‍රියා කලහ. 

ජවිපෙ නායකයන් සහ සාමාජිකයන් වනසා, එම හුස්මෙන් ම පෙරලිකාරී ව සිටි ගම්බද තරුනයන් 60,000ක් පමන ඝාතනය කිරීමට ලංකාවේ පාලක පන්තිය ක්‍රියාකල බව සැබෑවකි. එහෙත් ජවිපෙ යලිත් දේශපාලන කරලියට ගෙන ආ ලංකාවේ පාලක පන්තියේ කොටස්, දශක තුනකට පසු, එය බලයට දමා ගත්තේ එහි ලේ වැකි ඉතිහාසය සලකා බලා තම දිග් ගැසෙන අර්බුදය තුල ධනපති පාලනය රැක ගැනීමට ගැලපෙන හොඳ ම විකල්පය ලෙස තෝරා ගනිමිනි. ජවිපෙ/ජාජබ ආන්ඩුව එය ඔප්පු කරමින් සිටි. 

මෙහි දී තව දුරටත් සඳහන් කල යුතු කරුනක් වන්නේ, සිය කාර්යාලය බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමේ ජවිපෙ/ජාජබ ප්‍රහාරයට ගොදුරු වූ පෙසප - මෙය 2012දී ජවිපෙන් බිඳී තනා ගත් සංවිධානයකි - මෙම ප්‍රහාරයෙන් කම්කරු පන්තිය, ශිෂ්‍යයින්  තරුනයින් ඇතුලු පීඩිත ජනතාව ගත යුතු ව ඇති පාඩම් යට ගැසීමට ක්‍රියාත්මක වි සිටින බවයි. 

ප්‍රතිගාමී බලවේගවලට නැගී සිටීමට ඉඩ නොදෙන බව ද තමන් මිතුරු විවේචන කරන්නේ ආන්ඩුව “හරි පාරට ගැනීමට” යයි ද කියමින් කලක් තිස්සේ මෙම මර්දනකාරී ආන්ඩුවට ඔජ වැඩ වූ පෙසප නායකයෝ , දැන් සිය තානය වෙනස් කර විකල්ප ධනපති අන්ඩුවක් පිලිබඳ ප්‍රකාශ ඉදිරිපත් කරමින් ආන්ඩුවට සහයෝගය දීම දිගට ම කරගෙන යති. 

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ඒ හා බැඳුනු මැර ප්‍රහාරයන්ට එරෙහි ව සටන් වැදීම සඳහා ධනේශ්වර පක්ෂවලින් සහ ඒවායේ ඒජන්තයින් වන වෘත්තීය සමිති තන්ත්‍රයෙන් ද පෙසප බඳු ව්‍යාජ වාම කන්ඩායම් වලින් ද ස්වාධීන ව කම්කරු පන්තිය ප්‍රජාතන්ත්‍රවාදී හා ජීවන කොන්දේසි රැක ගැනීමට සමාජවාදී වැඩපිලිවෙල මත සංවිධානය වීම අවශ්‍ය වේ. 

Loading